විෂාදය

මානසික අවපීඩනයට ලක්වීම යනු එදිනෙදා ජිවිතයේදී ඔබට හුදෙක් දින කිහිපයකට පමණ දැනෙන වෙහෙසකාරී ස්වභාවය හෝ අසතුටුදායක ස්වාභාවය නොවේ. බොහෝ දෙනා එදිනෙදා ජීවිතයේදී එවන් අත්දැකීම් වලට මුහුණ දෙනු ලබයි. මානසික අවපීඩනයට ලක්වීම යනු සති හෝ මාස කිහිපයක් වැනි දිගු කාල සීමාවක් පුරාවට ඔබට දුක් සහගත ස්වාභාවයක් දැනීමයි. සමහර දෙනා සිතන්නේ මානසික අවපීඩනය යනු සැබෑ රෝගී තත්වයක් නොවන බවයි. නමුත් ඇත්තවශයෙන්ම එය එසේ නොවන අතර එය රෝගී ලක්ෂණ පවතින සැබෑ රෝගී තත්වයකි. මානසික අවපීඩන තත්වයට පත්වීමෙන් ඔබේ දුර්වල කමක් නොහැඟවෙන අතර එය ඔබටම සිතා අත්මිදිය හැකි තත්වයක්ද නොවෙයි. නමුත් සුභදායී තත්වය නම්, මානසික අවපීඩනයෙන් පෙලෙන බොහෝ දෙනාට නිවැරදි ප්‍රතිකාර සහ අවැසි සහයෝගය සමගින් සම්පූර්ණ සුවය ලබා ගත හැකි වීමයි.

ඔබ මානසික අවපීඩනයෙන් පෙලෙනවාදැයි හඳුනා ගන්නේ කෙසේද

මානසික අවපීඩන තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ ආකාරයට බලපෑ හැකි අතර ඉන් ඇතිවන රෝගී ලක්ෂණද විවිධ පරාසයේ විය හැකිය. එනම්, සමහරෙකුට දීර්ඝ කාලීනව අසතුටුදායක බවක් සහ බලාපොරොත්තු රහිත බවක් දැනිය හැකිය. නමුත් ඇතැමුන්ට තමන් පෙර කැමැතිව තිබූ දේට අකමැති බවක් ඇතිවීම හෝ පෙරට වඩා ශෝකීදායී බවක් දැනීම පමණක් විය හැකිය. මානසික අවපීඩන තත්වයෙන් පෙලෙන බොහෝ දෙනාට කාන්සාවෙහි රෝගී ලක්ෂණද ඇතිවිය හැකිය. මෙහිදී, දිගු කාලීනව වෙහෙසකාරී බවක් දැනීම, දිගු නින්දට පෙලඹීම, ආහාර අරුචිය, ලිංගික බෙලහීනතාව, විවිධ ආකාරයේ ශාරීරික වේදනා දැනීම වැනි ශාරීරික රෝගී ලක්ෂණ ද ඇතිවිය හැකිය. මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ කුඩා මට්ටමේ සිට දරුණු මට්ටම දක්වා විවිධ පරාසයේ විය හැකිය. ඔබට දිගු කාලීනව කලකිරීම් සහගත ස්වභාවයක් දැනෙනවා නම් ඒ මානසික අවපීඩන තත්වයේ රෝගී ලක්ෂණ වල අවම මට්ටමයි. නමුත් ඔබට දරුණු මානසික අවපීඩන තත්වයක් ඇත්නම් ජීවත් වීම එපා වී, සියදිවි හානිකර ගැනීමට සිතුවිලි පවා ඇතිවිය හැකිය. බොහෝ පුද්ගලයන්ට ජීවිතයේ අසීරු කාල පරාස වලදී පීඩනකාරී ස්වභාවය, අසතුටුදායක බව හෝ කාංසාව ඇතිවිය හැකිය. නමුත් එම ස්වාභාවය කෙටි කාල සීමාවකට පසුව යථා තත්වයට පත්වෙයි. එය මානසික අවපීඩන තත්වය නොවේ.

ඔබ වෛද්‍යවරයා හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද

ඔබ මානසික අවපීඩන තත්වයෙන් පෙලෙන බවක් ඔබට සිතෙනවා නම් ඔබගේ වෛදයවරයාගේ උපදෙස් පැතීම ඉතා වැදගත් වේ. බොහෝ දෙනා එලෙස උපකාර ලබා ගැනීම සඳහා යොමුවීමට පමා වන අතර එසේ පමා නොකිරීම වඩාත් සුදුසුය. ඔබ ඉක්මනින් වෛදයවරයෙකු මුණගැසෙන්නේ නම් ඔබට ඉක්මනින් සුවය ලඟා කරගත හැකිය.

මානසික අවපීඩන තත්වයක් ඇති වීමට හේතු මොනවාද?

සමහර අවස්ථා වලදී මානසික අවපීඩන තත්වයක් ඇතිවීමට නිශ්චිත හේතු කාරකයක් තිබිය හැකිය. වියෝ දුක, රැකියාව අහිමිවීම, දරුවෙකු ලැබීම වැනි තම එදිනෙදා ජීවින රටාව වෙනස් වන අවස්ථා වලදී පුද්ගලයෙකු මානසික අවපීඩන තත්වයකට පත් විය හැකිය. එසේම, මානසික අවපීඩන තත්වයට පත්වීම් යම් පුද්ගලයෙකුගේ පවුල් ඉතිහාසය තුල පවතීනම් එම පුද්ගලයාද එම තත්වයට පත් වීමට වැඩි අවස්ථාවක් පවතී. නමුත් කිසිඳු පැහැදිලි හේතු සාධකයක් නොමැතිවම වුවද ඔබ මානසික අවපීඩන තත්වකට පත්විය හැකිය. මානසික අවපීඩන තත්වය යනු, පුද්ගලයන් දස දෙනෙකු ගත් කල ඉන් එක් අයෙකුට තම ජීවිත කාලය තුල එක් අවස්ථාවකදී හෝ ඇතිවිය හැකි තරමක් සුලබ තත්වයකි. එය කිසිදු භේදයකින් තොරව කාන්තා, පිරිමි, තරුණ, මහලු සියලු දෙනාට ඇතිවිය හැකි තත්වයකි.

මානසික අවපීඩන තත්වයට ප්‍රතිකාර කිරීම

මානසික අවපීඩන තත්වයට ප්‍රතිකාර ලෙස ජීවන රටාවේ වෙනස්කම් සිදුකිරීම, උපදේශණ සහය ලබා දීම හෝ බීමට බෙහෙත් ලබා දීම සිදු කල හැකිය. ඔබට ලබාදෙන ප්‍රතිකාරයේ ස්වභාවය ඔබගේ රෝගී තත්වය සුලු, මද්‍යස්ථ හෝ දරුණු ද යන්න මත රඳා පවතී. ඔබට ඇත්තේ සුලු මානසික අවපීඩන තත්වයක් නම්, එම තත්වය ප්‍රතිකාර රහිතව පහව යනු ඇත්දැයි මද කාලයක් බලා සිටීම සහ ඒ අතරතුර ඔබගේ ප්‍රගතිය පරීක්ෂා කිරීම ඔබේ වෛද්‍යවරයාගේ නිර්දේෂය වනු ඇත. මෙය "අවධානයෙන් බලාසිටීම" නම්වේ. එසේම, වයායාම් කිරීම සහ සාකච්ඡා කණ්ඩායම් වලට සහභාගී වීම වැනි ජීවන රටාවේ යම් යම් වෙනස්කිරීම් සිදුකිරීමටද ඔබට යෝජනා කරනු ඇත. ඔබගේ සුලු මානසික අවපීඩන තත්වය ඉහත ප්‍රතිකාර විධි මගින් සුව නොවන්නේ නම් හෝ, ඔබගේ තත්වය මද්‍යම මට්ටමේ මානසික අවපීඩන තත්වයක් නම්, ඔබට ප්‍රජානන චර්යා ප්‍රතිකාර වැනි කථන ප්‍රතිකාර ලබාදිය හැකිය. ඇතැම්විවිට ඔබට විෂාදනාශක ඖෂධ වර්ගද ලබා දිය හැකිය. මද්‍යම මානසික අවපීඩන තත්වයේ සිට දරුණු මානසික අවපීඩන තත්වය සඳහා ප්‍රතිකාර ලෙස කථන ප්‍රතිකාර සමගින් විෂාධනාශක ඖෂධ ලබාදිය හැකිය. ඔබට දරුණු මානසික අවපීඩන තත්වයක් පවතින්නේ නම්, ඔබව තීව්‍ර විශේෂඥ කථන ප්‍රතිකාර සහ විෂාධනාශක ඖෂධ ලබාදීම සඳහා විශේෂඥ මානසික සෞඛය කණ්ඩායමක් වෙත යොමුකරනු ඇත.

මානසික අවපීඩන තත්වය සමග දිවි ගෙවීම

වැඩිපුර වයායාම් කිරීම, මද්‍යසාර භාවිතය අවම කිරීම, දුම් පානය අතහැරීම, සෞඛය සම්පන්න ආහාර ගැනීම වැනි ජීවන රටාවේ වෙනස්කම් සිදුකිරීම මගින් මානසික අවපීඩන තත්වයෙන් පෙලෙන බොහෝ දෙනාට සුභදායී ප්‍රතිඵල ලඟා කර ගත හැකිය. ස්වයං උපකාරක පොත්පත් කියවීම හෝ සහය කණ්ඩායම් වලට සම්බන්ධ වීමෙන්ද යහපත් ප්‍රතිඵල ලඟා කර ගත හැකිය. එමගින් ඔබ මානසික අවපීඩන තත්වයට ගොදුරු වූයේ ඇයිද යන්න පිලිබඳව ඔබට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනිමට හැකි වනු ඇත. ඔබගේ තත්වයේම සිටින අනෙකුත් පිරිස් සමගින් ඔබගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන්ද ඔබට සහයක් ලැබෙනු ඇත.